🔴 ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා රැස් වේ
🔴 ප්‍රාදේශීය මට්ටමින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට අනුමැතිය
🔴 රජයේ රෝහල්වල සැත්කම් කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් රාජකාරී වෙලාවෙන් පසු කරන සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක්
🔴 රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි විය.
ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී 28දා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය.
ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, නව යෝජනා සහ පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
රජයේ රෝහල් වල සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ වැඩි පිරිසක් රැඳී සිටීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඊට විසඳුමක් ලෙස රාජකාරී වේලාවෙන් පසු සැත්කම් කිරීමත්, එම සේවාවන් ඉටු කරන කාර්ය මණ්ඩලය සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබා දීම පිළිබඳවත් අවධානය යොමු විය. මේ වන විට මෙම ක්‍රමවේදය කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා විය.
අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ජනාධිපති අරමුදලින් පහසුකම් සැලසීම තව දුරටත් පුලුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය ලබන දරු දැරියන් මූලික කර ගනිමින් නව වැඩසටහන් ආරම්භ කිරීමටත්, දැනට පවතින වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් සැලසුම් කෙරිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී.ජයකොඩි, හිටපු විගණකාධිපති මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ යන මහත්වරු ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
🔴 ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ
🔴 නව තාක්ෂණය හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන යනවා
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 07දා ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ.
ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති මාර්ගගත සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
ජනාධිපති අරමුදලට නව ඩිජිටල්කරණ හා ජාලකරණ වැඩපිළිවෙල හඳුන්වාදීම තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේය.
මෙහිදී ඕනෑම කෙනෙකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට අදාළ මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාළ ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙනවිත් භාර දිය හැකිය.
රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛන සකස් කරන ආකාරය, සහ ජනාධිපති අරමුදලේ වගකීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීම සිදු කෙරිණි.
මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය.
ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාල පරිශ්‍රය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කෙරේ.
ජනාධිපති අරමුදලෙහි සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට 2025 ජනවාරි 01වන දා සිට කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ සිය සේවා ලබා ගැනීමට හැකියාව ඇත.
Top