P R E S I D E N T S F U N D
  • prefund@presidentsoffice.lk
  • +94 11 2354354
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

🔴 ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා රැස් වේ

🔴 ප්‍රාදේශීය මට්ටමින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට අනුමැතිය

🔴 රජයේ රෝහල්වල සැත්කම් කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් රාජකාරී වෙලාවෙන් පසු කරන සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක්

🔴 රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි විය.

ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී 28දා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය.

ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, නව යෝජනා සහ පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

රජයේ රෝහල් වල සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ වැඩි පිරිසක් රැඳී සිටීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඊට විසඳුමක් ලෙස රාජකාරී වේලාවෙන් පසු සැත්කම් කිරීමත්, එම සේවාවන් ඉටු කරන කාර්ය මණ්ඩලය සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබා දීම පිළිබඳවත් අවධානය යොමු විය. මේ වන විට මෙම ක්‍රමවේදය කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා විය.
අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ජනාධිපති අරමුදලින් පහසුකම් සැලසීම තව දුරටත් පුලුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය ලබන දරු දැරියන් මූලික කර ගනිමින් නව වැඩසටහන් ආරම්භ කිරීමටත්, දැනට පවතින වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් සැලසුම් කෙරිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදා‍ස, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී.ජයකොඩි, හිටපු විගණකාධිපති මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ යන මහත්වරු ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

🔴 ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ

🔴 නව තාක්ෂණය හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන යනවා

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 07දා ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ.

ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති මාර්ගගත සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති අරමුදලට නව ඩිජිටල්කරණ හා ජාලකරණ වැඩපිළිවෙල හඳුන්වාදීම තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේය.

මෙහිදී ඕනෑම කෙනෙකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට අදාළ මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාළ ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙනවිත් භාර දිය හැකිය.

රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛන සකස් කරන ආකාරය, සහ ජනාධිපති අරමුදලේ වගකීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීම සිදු කෙරිණි.

මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 01 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය.

ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාල පරිශ්‍රය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කෙරේ.

ජනාධිපති අරමුදලෙහි සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට 2025 ජනවාරි 01වන දා සිට කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ සිය සේවා ලබා ගැනීමට හැකියාව ඇත.

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

රටේ අනාගතය වන දරු පරපුරේ සුබසිද්ධිය සහ දුප්පත් දෙමව්පියන්ට සහනයක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

උතුරු කොළඹ මහ රෝහලේ (රාගම ශික්ෂණ රෝහල) සිදු කරනු ලබන කුඩා දරුවන්ගේ (වයස අවුරුදු 16ට අඩු ) අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා, එවැනි රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් (රු 1,000,000/-ක) උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලින් ලබාදීම සිදු කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්ෂයකට කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම සිදුකළ යුතු දරුවන් 200කට අධික ප්‍රමාණයක් උපත ලබන බව වෛද්‍ය පරීක්ෂණවලින් පෙන්වා දී තිබේ. ලෝකයේ දියුණු රටවල මෙම සැත්කම සිදු කළයුතු දරුවන් උපතේදීම හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම් උපතේදීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේද මේ වන විට උපතේදීම මෙම දරුවන් හඳුනා ගැනීම සිදු වුවද, එම දරුවන් සියළුදෙනාටම මෙම සැත්කම සිදු නොකරයි. මෙවැනි දරුවෙකුගේ මොළය වර්ධනයට මෙම සැත්කම දරුවාට වසර 02ක් ඇතුළත සිදු කළයුතු බව වෛද්‍ය මතයයි.

මෙම සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ පනහක් හෝ ඊට වැඩි මුදලක් වැය වන බව ලැබෙන ඇස්තමේන්තු අනුව නිරීක්ෂණය වේ. දැනට මෙම සැත්කම සිදු කරන්නේ රජයේ රෝහල් කිහිපයක පමණක් වීම නිසා රජයේ රෝහල්වල මේ සඳහා පොරාත්තු ලේඛනවල සිටීමට රෝගී දරුවන්ට සිදුව ඇත.

මෙම ශල්‍යකර්මය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කරනු ලබන අතර, මේ සඳහා යොදන උපකරණයේ (Implant) වටිනාකම රුපියල් මිලියන 3-4කට ආසන්න මුදලකි. එම උපකරණය (Implant) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නොමිලේ ලබා දුන්න ද සැත්කම සඳහා වන වියදම වන රුපියල් ලක්ෂ හයක මුදල (රු 600,000) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රෝගීන් විසින් ගෙවිය යුතුය. එයට පිළියමක් වශයෙන් මෙම උපකරණ (Implant) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගෙන සැත්කම සඳහා යන වියදම වන රුපියල් ලක්ෂ හයක මුදල ජනාධිපති අරමුදලින් ලබා දීම සිදු කෙරේ. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් සිදු කරන මෙම සැත්කම සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලබයි.

තවද මෙවැනි දරුවන් හට මම සැත්කම සිදු නොකිරීම සමාජයට මෙන්ම සෞඛ්‍ය පද්ධතියටද හානිකර ලෙස බලපායි. කෙසේ වුවද මෙම සැත්කම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවුවද කුඩා දරුවන් වෙත සිදු කරනු ලබන මෙවැනි සැත්කම් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීම රටට වන අනාගත ආයෝජනයකි. එබැවින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී දරුවන් වෙත සිදු කරනු ලබන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා යන රුපියල් ලක්ෂ හයක මුදල (රු 600,000) උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලෙන් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වෙසෙන ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික අපහසුතා පවතින දරු දැරියන් හඳුනාගෙන ඔවුන්ගේ ඉදිරි අනාගතය යහපත් කිරීමේ ඒකායන අරමුණ පෙරදැරි කරගෙන ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා ජනාධිපති ලේකම්තුමාගේ මඟපෙන්වීම අනුව ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය ඉහත ශිෂ්‍යත්ව ලබා ‍දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව අදාළ දරු දැරියන්ගේ ඉගෙනීමේ කටයුතු, ආර්ථික අපහසුතා හේතුවෙන් අතරමග නතර නොකොට උසස් අධ්‍යාපන වරම් හිමිකරදීම දක්වා කාලය තුළ ඔවුන්ගේ දිවියට යම්තාක් දුරකට හෝ සහනයක් සලසා ඔවුන්ගේ ඉදිරි ජීවිතය යහපත් කිරීමට අත්වැලක් සැපයීමට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන උපයෝගී වේ.

එබැවින් ඊට සමගාමීව, ජනාධිපති අරමුදලේ 2021/2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩස‍ටහනේ ශිෂ්‍යත්වලාභීන්ට ජනාධිපති අරමුදල වෙතින් මේ වන විට මාසිකව රු. 5000.00 ක දීමනාවක් ගෙවනු ලබන අතර මෙ‍තෙක් මාසික වාරික 10ක් ගෙවා ඇත. කෙසේවුවද, අදාළ දරු දැරියන්ගේ විශේෂ ඉල්ලීම් මත 2024 පෙබරවාරි මස සිට අදාළ දීමනා මුදල වැඩි කර ලබා දීමට ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2024 පෙබරවාරි මස සි‍ට අ.පො.ස. උසස් පෙළ විභාගය‍ට පෙනී සිටින තෙක් අදාළ ශිෂ්‍යත්වලාභීන් වෙත රු. 6000.00 ක මාසික ‍දීමනාවක් සෑම මසකම පළමු සතිය තුළ ජනාධිපති අරමුදල වෙතින් ලබා දෙනු ලබන බව ඉතා සතුටින් දැනුම් දෙමි.

2024 නව වර්ෂයේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති අරමුදල විසින් පවත්වනු ලැබූ සෙත් පිරිත් සජ්ජායනාවේ විශේෂ අවස්ථා                                                                   

ජනාධිපති අරමුදලට අයදුම්පත් ඉදිරිපත් කළ රෝගීන්ගේ පහසුව සඳහා කෙටි පණිවිඩ සේවාව සක්‍රීය කර ඇත.                                                                                  

ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන වෛද්‍යාධාර ඉල්ලුම්පත් සම්බන්ධයෙන් කඩිනමින් ගෙවීම් සිදුකිරීමට හැකිවන පරිදි ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කරනු ලබන අයදුම්පත සංශෝධනය කර ඇති බැවින් 2023.03.20 දින සිට භාරගනු ලබන්නේ මෙම නව අයදුම්පත්‍රය මඟින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලිම් පමණක් බව කාරුණිකව දන්වනු කැමැත්තෙමි. නව අයඳුම්පත භාගත කරගත කරගැනීම සදහා පිවිසෙන්න

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් මෙම වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 22 වනදායින් අවසන් කෙරේ. වලංගු කාල සීමාව නැවත දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බැවින් දෙසැම්බර් 22 දිනට හෝ ඊට පෙර අයදුම්පත් භාරදීමට කටයුතු කරන ලෙස සුදුසුකම් සපිරු සියළු දරු දැරියන්ගෙන් ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

Top